සොකරියේ වග තුග

සොකරි නාටකය වනාහි උඩරට පළාත්වලට , වන්නියට මෙන්ම සත්කෝරලයේ ඇතැම් ප්‍රදේශවලට සීමා වූ ගැමි නාටක විශේෂයකි. ( ලග්ගල, හඟුරන්කෙත හේවාහැට, තලාතුඔය, මීරුප්ප, හාරිස්පත්තුව, පානදුම්ඹර, උඩුදුම්බර) මෙම නාට්‍ය විශේෂය මුහුදුබඩ පෙදෙස්වල හෝ සාමාන්‍යයෙන් දකුණු පළාතෙහි රඟ දැක්වීම අප කිසිදිනක දැක හෝ අසා නැත.

සොකරියෙහි සමස්ථ කථා පුවත සිදුවන්නේ හිටිවන කවි සංවාද හා අනුරූපන මාධ්‍යයෙනි. කණ්ඩායම් නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර කෙරෙන අතර නළුවෝ එය අනුකරණාත්මක නැටුමකින් දක්වති. සමහර නළුවෝ වෙස්මුහුණු පළදිති. සොකරි රඟ දැක්වීම උදෙසා භාවිතා කරන ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වශයෙන් ගැට බෙරය දැක්විය හැකිය. ඇතැම් පළාතක දවුල පරිහරණය කිරීම දැකගත හැකිය. වන්නියෙහි පමණක් උඩැක්කිය වාදනය කිරීම දැකගත හැකිය. සොකරි කථා වස්තුව පළාතෙන් පළාතට මඳ වශයෙන් වෙනස් වීම දැකගත හැකිය.

 මහනුවර අවට සමහර පෙදෙස්වල මුල් කථාවට නූතන ස්වරූපයක් ආරූඪ කොට එය ගතානුගතික ත්‍රිකෝණ ප්‍රේම කථාවක් වසයෙන් නැතහොත් අඔුවක සොර මිනිසෙකු සමඟ පලායාම පිළිබඳ සුලබ පුවතක් ලෙස ඉදිරිපත් කරන බව පෙනේ. මෙසේ වූ විට සොකරි නාටකයේ මුල් ස්වරූපයට හානි පැමිණෙනු පමණක් නොව එහි නියම අර්ථය ද වැසී යනු ඇතැයි කිව හැකිය.

                    මෙකල සොකරි නාටකය නොකෙලසුණු ස්වරූපයකින් දක්නට ලැබෙන්නේ ඈත පිටිසර ගම්මානවල පමණි. මෑතකදී සොකරි නාටකයේ නියම ස්වරූපයෙන් ඉදිරිපත් කෙරිණියැයි කිව හැකි රැඟුමක් මා විසින් දක්නා ලද්දේ ලග්ගල ඉළුක්කුඹුර නම් ගමෙහිදීය. එනම් අවුරුදු තුනකට හතරකට පමණ උඩදීය. මේ පර්යේෂණ ආරම්භ කරන ලද කාලයෙහි එනම් අවුරුදු පහළොවකට පමණ ඉහත මා විසින් හේවාහැට හඟුරන්කෙත දිප්පිටිය බදුල්ල ආදී පෙදෙස්වල දක්නා ලද සොකරි රැඟුම් අතර නොකිලිටි ස්වරූපයක් දරන ලද්දේ බදුල්ලේ නළු කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද රැඟුමක් බව පෙණිනි.

[සොකරි නාටකය 9 වන පරිච්ඡේදය සිංහල ගැමි නාටකය සරත්චන්ද්‍ර.]

සොකරි රඟ දක්වනු ලබන්නේ ගොයම් කපා අවසන් වූ  විට කමත රංග භූමිය කොටගෙනය.        සාමාන්‍යයෙන් සිංහල අවුරුද්දට පසුව වෙසක් පෙසොන් මාසවලදී සොකරි පවත්වනු ලබයි. මෙය ශ්‍රී ලංකාවේ සශ්‍රීක කාලයකි.පිට පිටම දින 3ත් 7ත් අතර පවත්වන මෙම නාට්‍ය විශේෂය ගම්මුන් විවේකයෙන් ගත කරන කාලසීමාවේ සිදුවේ. හාස්‍යජනක සිදුවීම්වලින් අනූන මෙම සොකරි නාටකය කුඹුරට සිය කාලයම යෙදවූ ගැමියාට විවේකසුවය නොවඩුවම ලබාදෙන මහඟු ෙඔෟෂධයක් විය.

ප්‍රධාන වශයෙන් සොකරි නාටකයෙහි අරමුණු 03කි.

v  විනෝදාස්වාදය

( මූලික වශයෙන් සරල හාස්‍ය රසය සේම උපහාස රසයද ගැබ්ව ඇත.)

v  සශ්‍රීකත්වය

( පොළොවේ සශ්‍රීකත්වය වර්ධනය, මිනිසා සහ සත්ත්ව ඵලදාව, වද ස්ත්‍රීන්ට දරුවන් ලැබීම)

v  පූජාර්ථය

(ගැමි අභිචාර විධීන් අනුගමනය, ආවේශයෙන් පොල් මලේ ඇට කමත පුරා විසිරීම, පත්තිනි දේවිය හා කතරගම දෙවියන් ඇදහීම, සොකරි නාට්‍ය අවසානයේදී දරුවා වඩාගෙන පැමිණ ප්‍රේක්ෂකයන් සියල්ලටම සෙත් පතා කෘෂිකාර්මික සමාජයක දක්නට ලැබෙන සමෘද්ධිය සංකේතවත් කිරීම.)

ගව සම්පත් බෝ             වේවා

ගහකොළ ඵලදා             වේවා

ගජකුළු බිය නැති            වේවාමි

ගණදෙවි නුවණින්           දේවා

      සොකරි අවසානයෙහි ගැයෙන මෙම කවිය දෙස බලන විට සොකරි රංගය තුල විනෝදාස්වාදය පමණක් නොව බොහෝ අරමුණු දක්නට ඇති බව පෙනේ.

 

සොකරි කථාව හා එහි විිවිධ ප්‍රවාද……

 සොකරි කථා වස්තුව පිළිබඳ විවිධ ජනප්‍රවාදයන් පවතින අතර ප්‍රසිද්ධම සහ පොදු කථා පුවත මෙසේ දැක්විය හැකිය.

කාසි රටෙහි ගුරුහාමි නම් ආඬි ගුරෙක් වාසය කරන අතර ( මොහු ආන්දුා ප්‍රදේශයේ වැසියෙකි.) මොහු සොකරි නම් වූ රූමත් තරුණියක් සරණපාවා ගන්නා අතර පරයා නැමැත්තෙකු මෙහෙකාරකමට ගනී. ජීවනෝපායක් සහ දරුවෙකු බලාපොරොත්තුවෙන් රටින් රටට ඇවිදින මොවුන් අවසානයේදී සිංහල දේශයට යන්නට තීරණය කරයි. සුබ නැකතින් පිටත්වන ඔවුන් මුහුදු සතක් තරණය කර ලක්දිවට පැමිණෙයි. එහිදී ඔවුන් පැලක් සාදාගෙන, පොළොව ගොම මැටි ගා ශුද්ධ පවිත්‍ර කොට එහි වාසය කරන්නට සැරසෙති. ඉන පසුව ගුරුහාමි හාල් ගෙනෙන්නට නික්ම යයි.බස නොතේරෙන බැවින් විවිධ අතවරයන්ට පත්වන මොහු අමාරුවෙන් හාල් ගෙනවිත් ඉන් බත් පිසින්නට සොකරියට දෙයි. එහෙත් බත් පිසින්නට වතුර නැති බැවින් ගුරුහාමිට නැවතත් ගමට යන්නට සිදුවේ. මේ යන ගමනේදී ගුරුහාමිගේ කකුළ වෙදරාලගේ බල්ලා සපා කයි.ඉන්පසු ගුරුහාමි අමාරුවෙන් ගෙදරට පැමිණ පොළොවෙහි වැතිර සිටින අතර, ඔහු මිය ගොස් ඇතැයි සිතන පරයා අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සොකරිය අනාචාරයට පොළඹවා ගන‍්නට මාන බලයි. පරයා සමඟ උරන වන සොකරි වෙදරාළ කැඳවාගෙන එන ලෙස පරයාට අණ කරයි. පරයා වෙඳරා‍ළ සොයා ගියද සොකරිය පැමිණෙන තෙක් තමා නෙඑන බව වෙඳරාල පවසයි.

සොකරිය තමාම ගොස් වෙදරාළ කැඳවාගෙන එයි. වෙදරාළ මැදියම තෙක් ගුරුහාමිට බේත් කොට අලුයම් වෙලේ සොකරිය සමඟ පලා යයි. සොවින් තැවෙන ගුරුහාමි කතරගම දෙවියන්ට භාරවන අතර දෙවියන් ඔහුට ලකුණක් කියා පායි. මේ සලකුණේ අනුසාරයෙන් සොකරිය ගුරුහාමිට වෙදරාළගේ නිවසේදී හමුවේ.ගුරුහාමි ඇය කැඳවාගෙන ගොස් ඇයට තලන අතර ඇය තමන් නිදොස් යැයි සමාකර ගනී. අවසානයේදී සොකරියට දරුවෙක් ලැබෙයි. දරුවා ප්‍රේක්ෂකයින් වෙත ගෙන එමින් දරු නැලවිල්ලක් කියන සොකරි කතාව අවසන් වේ.

ප්‍රාදේශීය වශයෙන් විවිධ අයුරින් සොකරි කථාව දක්නට ලැබේ. ඒ අතර කුඩා කුඩා වෙනස්කම් වෙනස්කම් අතර කිහිපයක් මෙසේය.

Ø  ගුරුහාමි රටින් රටට ඇවිද්දේ පරයාත් වෙදරාලත්  සමඟ බවත් ඒ වන විටත් සොකරි ගැබ්ගෙන සිටි බවත් හොඳින් දරු ප්‍රසූතිය සිදුවේවායැයි පත්තිනි දෙවියන් පිදූ බවයි.

Ø  සොකරිය වෙදරාළ සමඟ පලා යන්නේ ඈට දරුවෙකු ලැබුණු පසු බව.

Ø  පේරාදෙණිය රවිශ්ව විද්‍යාලයේ පුස්ථකාලයේ පුස්කොළ පොතේ ගුරුහාමි ශිල්ප ශාස්ත්‍රයේ කෙළ පැමිණියෙකු බවත් සොකරි දිළිදු රූමත් කාන්තාවක බවත් මොවුන්ට දරුවන් නොමැති බවත් සඳහන් වේ.

 

රංග ශෛලිය

රංග භූමිය කමත ලෙස යොදාගන්නා මෙහි රඟමඩල මැද වංගෙඩියක් මුණින් අතට තබා ඒ මත ලන්තෑරුමක් තබයි. රඟමඩලේ පසක පොතක් අතින් ගත් ගුරුන්නාන්සේද, හොරණෑ වදතයෙක්ද, තාලම්පට වයන්නෙක්ද, බෙර වාදකයෙකුත් තවත් අත්වැල් ගායකයන් කිහිප දෙනෙක්ද සිටින අතර ප්‍රේක්ෂකයා රඟමඩල වටේ වාඩි වී සිටිති. සොකරි රැඟුමෙහි පාත්‍ර වර්ගයා ලෙස ගුරුහාමි, සොකරි, පරයා, කාලි අම්මා,වෙදරාළ, සොත්තානා(වෙදරාලගේ බෑණා), හෙට්ටියා, වඩුරාළ හා කපුරාළ දැක්විය හැකිය.


   මෙම සියලු චරිත ගුරුන්නාන්සේ හා අත්වැල මඟින් හඳුන්වා දෙති. මෙසේ චරිත හඳුන්වා දෙන කවි ගායනා කරන ඒ ඒ චරිත පැමිණ වංගෙඩිය වටේ නටති.ගුරුන්නාන්සේ ගායනා හැම පේළියක්ම යළි අත්වැල් ගායකයෝ කියති.ඒ ඒ චරිත පැමිණ වංගෙඩිය වටේ නර්තනයේ යෙදුනුයේ අතිශය හාස්‍යජනක ලෙසය.මෙම චරිත බෙර තාලයේ රිද්මයට අනුව ගමන් කළමුත් ඔවුන්ට නියමිත ගමන් කාලයක් නොමැත.උඩරට නැට්ටුවන් ලෙස කකුල් පළල් කොට ගුරුන්නාන්සේ ගායනා කරන කවිවලට අනුව කිසියම් රිද්මයක් පෙන්වමින් මොවුන් නටති.

වෙ දා  නටන්නේ පළමුව සබේට එන්              නේ

යෙ දා  කියන්නේ තාලෙට ගත වෙවුලන්          නේ

කු   දා  වැනෙන්නේ සබයේ කොක්හඬ ලන්      නේ

වි    දා  පාන්නේ අත් දෙක තෑගි කියන්             නේ

 

සොකරි එන්නී සබයෙන් අවසර ග                   න්නී

නැටුම් නටන්නී තාලෙට රාග කිය                    න්නී

පද අල්ලන්නී පියයුරු ළැම සොල්ල                 න්නී

කැඩපත ගන්නී සුරතින් මූණ බල                     න්නී

 

සොකරියෙහි සරල වෙස්මුහුණු පැළදීමක් සිදුවන අතර මෙහිදී වෙස් මුහුණු පළදින්නේ වෙදරාලත්, සොත්තානාත්, පරයාත් පමණි.පරයාගේ වෙස්මුහුණ ලීයෙන් කපන ලද්දක් විය. සොකරි වෙස් මුහුණ සාමාන්‍යයෙන් කපන්නේ එරබදු ලීයෙන්ය. එහෙත් බොහෝ විට ඒවා කොළපතින්ද සාදා ගනිති.මෙම වෙස් මුහුණු සරල වන්නේ සාත්වික අභිනයන් කිසිවක් මෙහි අන්තර්ගත නොවන බැවිනි.මෙයින් පාත්‍රයාගේ මුහුණ වසා ගැනීම පමණක් අපේක්ෂා කරයි. සොකරියෙහි චරිත අඳින පළඳින ආකාරය දෙස බැලූවිට බොහෝ දුරට හාස්‍ය ඉපදිය හැකි විකට ස්වරූපයක් සමහර චරිතවල දක්නට ලැබේ.

                          (සොකරි, ගුරුහාමි හැරුණු විට)

 

 

 උදාහරණ වෙදරාල සරමක්, කෝට් කබායක්, පිටෙහි බඳින ලද කොට්ටයකින් වෙදරාළ කුරෙකු සේ නිරූපණය කොට තිබේ. එබඳුම උපක්‍රමයකින් සොත්තානාගේ බඩ නෙරා සිටින්නට සලස්වා තිබුණි. ඔසරිය ඇඳගත් පිරිමිහු දෙදෙනෙක් සොකරි අම්මාගේත් කාලි අම්මාගේත් වේශ මවා පෑහ. පිරිමින් පමණක් රඟ දක්වන මෙහි ගැහැණු චරිතද පිරිමින් පමණක් රඟ දක්වනු ලබයි.සම්පූර්ණයෙන්ම පාහේ නාට්‍යධර්මී රංග ශෛලියට අනුව කතාව විකාශනය කරනු අතර ප්‍රධාන වශයෙන් අනුුරූපණ මාධ්‍ය භාවිතා කිරීමත් දැකගත හැකිය.සංගීතය අතින් සොකරි නාටකයෙහි විවිධත්වයක් දක්නට නොලැබේ.සියලුම කවි ගැයෙන්නේ එක තාලයක් අනුව රචිත කවි රාගයකිනි.

         මේ අනුව දේශීය ගැමි නාටක අතර ඉතාමත් ප්‍රචලිත හා විනෝදාත්මක අංශයක් ලෙස සොකරි දැක්විය හැකිය….

 


Comments

Post a Comment

Popular posts from this blog