වාරණ පුරාණය….

 වාරණ ඉතිහාසය ශිෂ්ඨාචාර ආරම්භය දක්වා දිව යයි. එනම් සෑම ග්‍රෝත්‍රයක් තුලම සිදු නොකළ යුතු දේ හෙවත් විරිත්, තහංචි සහ එයට අදාළ ආචාරධර්ම හා නීති පද්ධතියක් පැවතිනි.මේවා ක්‍රමානුකූලව වාරණ පද්ධති බිහිකිරීමට අවශ්‍ය පසුබිම සකස් කෙරිණි. සරල අර්ථයෙන් ගත් විට වාරණ මුලාරම්භය ලෙස තහංචි දැක්විය හැකිය. එනම් තහංචිවල දිගුවක් වශයෙන් වාරණය යන සංකල්පය දැක්විය හැකිය. වාරණය යන්නෙහි වචනාර්ථය ලෙස වැළකීම, බාධක වළකන යන්නක් බව ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි දක්වා ඇත. වාරණය යන්නට පර්යාය පදයක් වශයෙන් පරිහාර කිරීම ලෙසද හඳුන්වනු ලැබේ.

ලිපි හෝ වාර ප්‍රකාශන, නාට්‍ය, සිනමා ආදිය පරික්ෂා කිරීමේ හා සදාචාරයට විරුද්ධ වු වෙනත් අයුරකින් අහිතකර වූ දෙය දුරාචාරය ලෙස සළකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය වාරණය වේ.

( ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය )

පොදුවේ ගත් කල වාරණය යනු දෝෂ පරික්ෂාවයි. සාහිත්‍ය කලාව ඇතුළු යම් සන්නිවේදන මාධ්‍යයක දෝෂ නැතිනම් යෝග්‍යතාව පරික්ෂා කර නොගැලපෙන දේ ඇතොත් ඒවා ඉවත් කොට අනුමත කිරීම  මින් අදහස් වේ. වාරණය රූපවාහිනිය, ගුවන්විදුලිය, සිනමාව සමඟ අතිශය බද්ධව පවතින අතර පොදු සමාජය තුල යම් කිසි ආකාරයක යහපත් බලපෑමක් ඇතිකරනු පිණිස ක්‍රියාත්මක වීම සිදුවේ.

වාරණය පිළිබඳ ගැඹුරින් අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන තවත් එක් කරුණකි. එනම් වාරණය පොදුජන යහපත මුලික කොටගත් සංකල්පයක් වශයෙන් ක්‍රියාත්මක වුවද එහි යටිපෙළින් මාධ්‍ය සංදේශය සිතා මතාම ග්‍රාහකයා වෙතට සපයන යම් යම්  තොරතුරු වසන් කිරීමේ අවියක් වශයෙන්ද වාරණය ක්‍රියාත්මක වන බවද දැතගත හැකිය. වාරණය එක් අතකට සමාජ යහපත උදෙසා මෙන්ම අනෙක් අතට මාධ්‍ය මර්ධනය කිරීම උදෙසාද භාවිතා කිරීමක්ද දැකගත හැකිය.

වාරණයේ අවස්ථාවන්

පූර්ව වාරණය

පසු වාරණය

නීතිමය වාරණය

නීතිමය නොවන වාරණය

සෘජු වාරණය

වක්‍ර වාරණය

වාරණයට ලක්වන මාධ්‍ය විශේෂත්වය අනුව වාරණය කරනු ලබන ආකාරයද වෙනස් වේ.ඒ අනුව වාරණ ප්‍රභේදයන් 13ක් පමණ අධ්‍යන පහසුව උදෙසා හඳුනා ගත හැකිය.

01. ස්වයං වාරණය

02. මුද්‍රිත වාරණය

03. ආගමික වාරණය

04. රාජ්‍ය වාරණය

05. දේශපාලන වාරණය

06. හමුදාමය වාරණය

07. සිනමා වාරණය

08. රූපවාහිනී වාරණය

09. ගුවන්විදුලි වාරණය

10. ගීත වාරණය

11. වේදිකා නාට්‍ය වාරණය

12. අන්තර්ජාල වාරණය

13. තැපැල් හා විදුලි සංදේශ වාරණය

 

වාරණයට ලක්වන දෑ

සංදේශ වාරණය කිරීමේ ක්‍රමවේදය යටතේ වාරණය කිරීම්වලට ලක්වන දෑ සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකිය.

01. පොත්

02. සඟරා

03. චිත්‍රපට

04. ලේඛන

05. පෝස්ටර්

06. නාට්‍ය

07. පුවත්පත්

08. ගුවන්විදුලි වැඩසටහන්

09. රූපවාහිනී වැඩසටහන

10. ගීත

ඒ අනුව මාධ්‍ය සංදේශයක් ග්‍රාහකයා වෙතට ප්‍රවේශ වීමට පෙරත්, ග්‍රාහකයා වෙතට ප්‍රවේශ වීමෙන් පසුවත්, නෛතිකමය රාමුවක සිටත්, නෛතිකමය රාමුවෙන් පිට නීතිවිරෝධී ලෙසත් මෙන්ම සෘජුව හැඳිනගත හැකි ආකාරයෙන් සේම මතුපිටින් හැඳිනගත නොහැකි වක්‍රකාරයෙන් යනාදී වශයෙන් සයාකාරයෙන් වාරණය සමාජයෙහි ක්‍රියාත්මක වීම සිදුවේ.

මෙම තහංචි හෙවත් (Taboo) යන වචනය සම්භවය වී ඇත්තේ පොලිනීසියානු වචනයක් හරහාය. මෙම වචනය යුරෝපයට හඳුන්වා දී ඇත්තේ වර්ස 1728- 1779 වකවානුවේදී පෙරදිග රවවල් සොයා මුහුදු ගවේෂණයක යෙදුනු කපිතාන් ජේම්ස් කූක් බව ( A Dictionary of Communication and Media Studies) කෘතියේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව තුලද සිංහල ජන සමාජයේ පැවති විවිධ විශ්වාස හා ඇදහිලි හරහා විශේෂයෙන් ථේරවාදී බුදුදහම, දේව විශ්වාස හා භූත විද්‍යා තුලින්ද මෙම තහංචිවල මූලික අවස්ථාවන් හඳුනාගත හැකිය.

වාරණ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමේදී  විධිමත් ආකාරයක වාරණ අවස්ථාවක් වශයෙන් ඉතාලියේ රෝම නගරයේ ක්‍රි.පූ 443 දී සමීක්සණ කාර්යාලයක් ( Office of Censor) නමින් පිහිටුවීම දැක්විය හැකිය. එනම් ඒ කලා මාධ්‍යයන්ගේ සදාචාරාත්මක ප්‍රමිතීන් අධීක්ෂණය කිරීම අරමුණු කොටගෙනය. මෙම ආයතනය මඟින් එකල රෝමයේ නිර්මාණය කරන ලද කලා මාධ්‍යයන් ජනතාව අතරට යාමට පෙර එම කලා මාධ්‍යයන්ගේ දෝෂ පරීක්ෂාව( censirship) හෙවත් වාරණය සිදුකර දෝෂ පවතින්නේ නම් එම නොගැළපෙන කොටස් ඉවත් කර කලා මාධ්‍යයන් අනුමත කිරීම මූලික වශයෙන් සිදු කර ඇත. මෙය බටහිර ලෝකයේ වාරණ ක්‍රියාදාමයේ ආරම්භය වේ.

ක්‍රි.ව 300 වන විට චීනය ප්‍රථම අදහස් වාරණ නීතිය නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. මෙය පසුව විවිධ රටවල් අතර විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය.

වාරණ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ජෝන් මිල්ටන් නම් එංගලන්ත කවියෙක් සිය කෘතියක් වාරණය කිරීම නිසා එරට පාර්ලිමේන්තුවට කරන ලද ප්‍රකාශයක් එරියොපැජටිකා( Areopagitica) ලෙසින් 1644 දී ප්‍රසිද්ධියට පත්ව ඇත.එය වාරණයට එරෙහිව කරන ලද ප්‍රබල ප්‍රකාශයක් වශයෙන් ඉතිහාසගතව ඇත.

කෙසේ වෙතත් මුල් කාලීන පුවත්පත් සහ විද්්‍යුත් මාධ්‍ය බිහි වූ 19 වන 20 වන සියවස් තුලත් ඉන් පසුවත් විවිධ නීති රෙගුලාසි, ආචාරධර්ම ජනමාධ්‍ය කෙරෙහි ස්ථාපනය වන්නට විය. විශේෂයෙන්ම අධිපතිවාදී සන්නිවේදන සංකල්ප මත පිහිටා බොහෝ රටවල ජනමාධ්‍ය පාලනය රජය විසින් සිදු කරන ලදී.ඒ අනුව දේශපාලන වාරණය, ආගමික වාරණය, හමුදා වාරණය, සංස්කෘතික වාරණය ආදී වශයෙන් විවිධ ස්වරූපයෙන් වාරණය ජනමාධ්‍ය තුල ක්‍රියාත්මක විය‍. 

මුදුිත මාධ්‍ය ආශ්‍රිත වාරණයන් පිළිබඳ විමසීමේදී නස්ලීමා නස්රීන්ගේ ලජ්ජා කෘතිය , ගුස්ටාච් ෆ්ලොබේයා විසින් රචිත බොවාරි මැතිණිය, විලැඩ්මීර් නැබකෝච්ගේ ලොලීටා, හෙන්රි මිලර්ගේ  ( Henry Miller)  Tropic of capricon සහ  Tropic of Canser යන කෘතිද වාරණයට ලක්විය.ඩී. එච්. ලෝරන්ස් විසින් රචිත Lady Chatterley's Lover විසි වැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සළකා මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක් වන මෙම කෘතිය සාහිත්‍යයේ ප්‍රමිතිය සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයකට පසුබිම සැපයී ය.

ලෝක ඉතිහාසයේ වරින්වර සිදුවූ වාරණයන් පහත පරිදි දැක්විය හැකිය.

ශ්‍රීක යුගය -  ඇරිස්ටොෆානීස්ගේ නාට්‍ය ( ලයිසිස්ට්‍රාටා නාට්‍ය )

හිට්ලර්     -   බ්‍රටර්ල් බ්‍රෙස්ට්ගේ නාට්‍ය සියල්ල තහනම් කිරීම

ඇමරිකාවේ බොස්ටන් 1881 - වෝල්ට් වයිට්ගේ ලීව්ස් ඔෆ් ග්‍රාස් ( පෙරළිකාර කවි පෙළ )

යුරෝපා රටවල් 1920 -1930 ජැක් ලන්ඩන්ගේ කෝල් ඔෆ්ද වයිල්ඩ් කෘතිය

1967 දී යුලිසීස් චිත්‍රපටය සහ ජේම්ස් ජොයිෂිගේ නවකථාව

1963 දී ප්‍රංශයේ සැලෝනයේදී - එඩුවාඩ් මොන්ගේගේ ඔලිම්පියා  චිත්‍රය

 

ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාරණය සම්බන්ධයෙන් පදනම ගොඩනැගෙන්නේ 20වන සියවසයේ බිහිවන අධිරාජ්‍ය විරෝධී පුවත්පත් මූලික කොටගනිමිනි.1915 දී යුධ නීතිය යටතේ  අධිරාජ්‍ය විරෝධී ලිපි පළකලා යැයි දක්වා සරසවි පුවත්පත් තහනම් කරනු ලැබීය. සිංහල බෞද්ධයා මෙන්ම සම සමාජ පුවත්පත්ද තහනම් කරනු ලැබීය. ශ්‍රී ලංකා වාරණ ඉතිහාසය සක්‍රීය ක්‍රියාත්මක වීමක් සිනමාව හා නාට්‍ය කර්මාන්තය සම්බන්ධව දැකගත හැකිය.

මෙරට තහනම් කරන ලද ප්‍රථම ආනයනික චිත්‍රපටය වශයෙන් 1927 ප්‍රදර්ණය කිරීමට නියමිතව තිබූ The light of Asia බෞද්ධ චිත්‍රපටය පෙන්වා දිය හැක.එවකට ව්‍යවස්ථාදායක සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ ශ්‍රීමත් ඩී.ඩී ජයතිලක මහතා ඇතුළු සාමාජිකයන් ආණ්ඩුකාරවරයාට ගෙන ආ යෝජනාවක් මත එම සිනමා කෘතිය වාරණයට ලක් විය.බුදුන්වහන්සේගේ චරිතය සඳහා නළුවෙකු යොදාගැනීමත් යශෝධරා දේවිය සහ සිදුහත් කුමරු අතර සිදුවන ප්‍රේම ජවනිකා නිසාත් බුදුදහමට අගෞරවයක් වන හේතුව මත මෙම සිනමා පටය වාරණයට ලක් කරනු ලැබීය.

ශ්‍රී ලාංකීය නිර්මාණයක් වූ නළඟන චිත්‍රපටය වාරණයට ලක්වීම මෙරට සිනමා ඉතිහාසයේ පළමු වාරණය ලෙස දැක්විය හැකිය.

පුවත්පත් මෙන්ම නවකථා, කෙටිකථා,කවි ආදී මුද්‍රිත මාධ්‍ය සංදේශ වාරණයට ලක්වූ අවස්ථා දැකගත හැකිය.2000 එළි දැක්වූ මේරි නම් වූ මරියා නැමැති මංජුල වෙඩිවර්ධනගේ කෙටිකථා සංග්‍රහය වාරණයට ලක් විය.ඊට හේතුව වූයේ කොන්තයක් සහිත අඩනිරුවත් කාන්තාවකගේ පින්තූරයක් තිබීමයි.

1968 දී ටෙනිසන් පෙරේරා විසින් රචිත කෙටිකථා සංග්‍රහයක් වු දැති රෝදෙන් උපන් බුදුන් කෘතිය තහනමට ලක්වුයේ බුදුන්වහන්සේට සහ ආගමට අපහාසයක් වන බව දක්වමිනි.රූපවාහිනී මාධ්‍යයෙහි විකාශනය වන විවිධ වර්ගයේ වැඩසටහන් විවිධාකාර සමාජ” ආර්ථික” දේශපාලනික හේතු පදනම් කර ගනිමින් වාරණයන්ට ලක්ව ඇත.

 
ඒ අනුව ස්වාධීන රූපවාහිනී නාලිකාවෙහි විකාශනය වු සත්‍යාගාරය සඳහා පෙරටුගාමී පක්ෂයෙහි කුමාර ගුණරත්නම් සහභාගී වූ වැඩසටහන විකාශනය අවලංගු කර තිබීම මෙම රූපවාහිනි මාධ්‍ය වාරණය නිදසුනක් වශයෙන් පෙන්වා දිය හැකිය එසේම එම නාලිකාවෙහිම කෝපි කඬේ ටෙලිනාට්‍යයෙහි එක් කතාංගයක් ද එලෙසින් වාරණයට ලක් වු බව වාර්තා වේ. 1990 වසරේ දී සෝමරත්න දිසානායක නිර්මාණය කරන ලද අවසඳ ටෙලිනාට්‍ය වාරණයට ලක් වන්නේ විකාශනය අතරතුර දීමය.

මේ අනුව ලෝකය තුල පමණක් නොව ශ්‍රී ලංකාව තුලද ඉතිහාසයේ සිටම විවිධාකාරයෙන් කලා කෘති, පුවත්පත්, සිනමා ආදිය වාරණයට ලක්ව ඇත. වාරණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී අවසාන වශයෙන් කිව යුත්තේ වාරණය අවියක් බවට පත්නොකොට එය පිළිගත් සහ නෛතිනමය රාමුවකින් සිදුකල යුතු බවයි. එනම් මාධ්‍ය වාරණය යන්න පළිහක් නොකරගනිමින් විධිමත් නෛතිකමය රාමුවක් තුළ සිදු වන්නේ නම් සමාජය වඩාත් යහපත් මාධ්‍ය සන්නිවේදනයක් උදෙසා හේතුකාරක විය හැකි බවයි.

 

 


Comments

  1. වැදගත් ලිපියක්

    ReplyDelete
  2. ඇත්තටම මට හිතෙන විදිහට වාරණය කරපු මූලාශ්‍ර තුල ඇත්ට්ත්තේ මිනිසුන්ගේ සත්ත්‍ය යතාර්ථයක් බව කිව හැකියි.එම සත්‍ය යතාර්ථයෙ නිරුවත් පුහු වූ දෙය මිනිස්සු හොදින් බලන්වා කියලා හිතෙනවා .

    ReplyDelete
  3. සමාජයට ඉතාමත් වැදගත් පනිවිඩයක් මේ හරහා ලැබෙනවා

    ReplyDelete
  4. වැදගත් ලිපියක් 👍👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog