ඉමක් කොනක් නැති....හැඩයක් පාටක් නැති....න්‍යාය සංකල්ප නැති මෙලොව දෙයක් වේද එය ප්‍රේමය පමණකි...ප්‍රේමය කියන්නෙ සංකීර්ණ සංකල්පයක්. හරි සාපේක්ෂ සිද්ධාන්තයක්. අයිසැක් නිව්ටන්ටවත් තියා දළ සිත, සුපහන් සිත කිය කියා පතරංග කථා කියපු සිග්මන් ප්‍රොයිඩ්ටවත් විස්තර කරන්න බැරිවෙච්ච  හරි අමුතු හැගීමක්. ප්‍රේමය කියන්නෙ පැහැදිලි  ලෙසම සාපේක්ෂ දෙයක්. ඒ කියන්නෙ ඔබට ආදරේ දැනෙන විදියට නෙමේ මට ඒක දැනේනෙ. මට දැනෙන විදියට නෙමේ ඔබට දැනෙන්නෙ. ලෝකෙ අපි දකින අහන හැම ආදර කථාවකටම සුන්දර ආරම්භයක් වගේම හරි ලස්සන අවසානයක් තිබ්බෙ නෑ.ඒ කියන්නේ ආදරේ කරපු හැමෝම එක් වුනේවත්, එහෙම නැත්නම් වෙන් වුනේවත් නෑ. සමහරු එක් වුනා. සමහරු වෙන් වුනා. හැබැයි ඔය අතරෙ එක් වුනෙත් නැති වෙන්වුනෙත් නැති ආදර කථා තියෙන්න බැරිද?? හරියටම කිවුවොත් ඒක පාර්ශවීය ආදර කථා. නෑ එහෙම ඒවා ඔින තරම් තිබුනා සහ තියෙනවා.

ජීවිතේ කවදහරි දවසක තනිවුනු, රැවටුනු, වැරදුනු, ආදර කථා සිය දහස් ගණනක් තියෙනවා. සරලවම කිවුවොත් ආදරෙන් ඇරඔුනු, රාගයෙන් තෙත්වුනු, කඳුලින් අවසන් වුනු ප්‍රේම කථා ඕන තරම් දැනටත් ඉකි ගහනව ඇති. හරියට විශාරද අභිශේකා විමලවීරගේ මතක වගේ.අභිශේකා විමලවීරයන්ගේ ගායනයක් මෙන්ම පදරචනයක් වූ මේ මතකය කරුණාරත්න දිවුල්ගනයන්ගේ සියුම් හඬ මුසුයෙන්  විදින විදවන හදවත් ගැඔුරු භාවාතිශයකට ලක් කල බව නොඅනුමානය.

ප්‍රේමය හරි ප්‍රේමණීයයි වගේම හරි රාගිකයි. අපි කථාවටත් කියනවනෙ රාගයක් නැති ප්‍රේමයක් හොඳයි ලාදුරු හැදිච්ච වුන්නට කියලා. ප්‍රේමය ඇතුලෙ රාගය සාමාන්‍යයි. හැබැයි ප්‍රේමයක් නැති තැන රාගය සාමාන්‍ය නෑ.

    මතක ලන්තෑරුම් අඳුර මැද

    ඔබේ හුස්මක සුවඳ දැනුණා

   අහම්බෙන් වට මුරුගසන් වැහි

   මැද්දෙ මම  තනියෙන්ම තෙමුනා......

   කියන්නම මග බලාගෙන වුන්

   වචන අමතක වෙලා ගිලුනා

   දැනුනෙ නැතුවට මගේ කඳුලින්

   කමිස උරහිස තෙමී තිබුණා……..

මිනිස්සු හැම වෙලාවෙම හොයන්නෙ සතුට සැනසීම විදීම. හැබැයි සමහර විදීම් තියනව හරි තාවකාලික.  ආදරේදී ඔය කියන තාවකාලික වින්දනේ ගන්නේ තව හිතකට මකා ගන්න බැරි මතකයන් සහ නිමාගන්න බැරි වේදනාවන් දීල. මෙතන වෙන්නෙත් ඔය කියන දේම තමා. ආදරේ නාමයන් ඇයට ඉතුරුවෙන්නෙ අඳුරු වුනු මතකයන් ගොන්නක් විතරයි. ඔහු ඇගේ ශරීරය තුලින් ඇයට බැදෙනවා විනා ආදරනේ බැදීමක් වෙන්නෙ නෑ. ඒ ඒකපාර්ශවීය  ආදරේ ඇතුලෙ ඇය ගොඩගහගන්නේ  ඔහුගේ  ඉවසුම් නැති රාගික අසීමිත අඳුරු හෙවනැලි. ඒ මතකයන් තුල ඇගේ වේදනාව කඳුල කිසිදවසක ප්‍රශ්න කරන්නෙ නෑ. ගොඩක් පිරිමි ඔතනෙදි දෙන උත්තරේ ඒක උනේ අපි දෙන්නගෙම කැමැත්තෙන්. එක්කො මට කරන්න දෙයක් නෑ. හැබැයි එතනදි කවදාවත් පිරිමි හොද වෙනව මිසක් ගෑණි හොද වුනෙත් නෑ. ඇයට උරුම වුනේ කරුමෙට සමාජ ගැරහිලි වගේම උහුලන්න බැරි කඳුලු විතරයි.

මතක ලන්තෑරුම් අඳුර මැද

හුස්ම නොතියා ඉන්න තිබුනා

අහම්බෙන්වත් මුරුගසන් වැසි

නොදී ඈතට යන්න තිබුනා….

කියන්නම ගිය වචන අමතක

වුණත් මගෙ හදවතට දැණුනා

නොදැණුනා වාගේම උන්නට

සුදු කමිස උරහිසට රිදුණා

 පසුතැවීම්, කලකිරීම් පිරිමින්ටත් උරුමයි. අතීත වැරදි තුල විදවන පිරිමි ඕන තරම් ඇති. ආයෙත් ඒ අතීතෙට ගිහින්  අසම්මතේට වැස්ස මුරුගසන් වැසි නවත්තන්න ඕන පිරිමි මේ ලෝකෙ ඇති. තමන්ට ආදරේ ගෑණි වෙනුවෙන් දෙයක් කරගන්න බැරි සහ ඒ  වරදින් රෝම කූපයක් පාසාම විදවන ප‍ිරිමි ඇති. . ඒකිගෙන් මට වැඩක් නෑ කියන පිරිමින්ගේ හිත් ඇතුලෙ අදටත් ඒ ගින්න අපායක් වගේ ඇවිලෙනව ඇති. තමන්ට හුරු පුරුදු තමන්ගෙම ආදරේ ආයෙත් ලැබුනු දවසක ඒ ආදරේ අස්සේ අදටත් ඒ අසම්මත මතක දෝංකාර දෙන ඒත් ඒ අසම්මතේට කවදාවත් ආයෙත්  පණදෙන්න බැරි අසරණ වුනු පිරිමි හිත් ඇති. හැබැයි ගත්ත රොන් බඔරකෙකුට ආය මලට කවදාවත් දෙන්න බෑඒකයි සත්‍යය.

 පරවෙලා මිහිදන් වෙලා උන්

හිත ඔහේ පරවෙන්න තිබුණා

නිල් පාට කටරොළු මලක නිල

පිපිණු හිතකට දෙන්න තිබුණා.....

 ආදරයෙන් පැරදුණු, ආදරය මියැදුනු හිතක ඒ පැරදුනු මියැදුනු ආදරය සදාකාලිකයි. ඒ සදාකාලික බවත්  එක්ක දවසක ආයෙත්  ආදරයක් මුහුනේනෙ පරණ ආදර හෙවණැලි එක්ක. ඒ තුල ඇතිවෙන්නෙ ආදරයකට එහා ගිය පිරිමහ ගැනීමක්. ඒ හිඩැස හරි අමාර‍ැවෙන් වසා ගැනීමක්.  ඒ පිරිමහ ගැනීම බොහෝ විට ආදරයට එහා ගිය රාගික ස්පර්ශයක් විතරයි. නිල කටරොළුව උඹ ඔය  ඇත්ත එදා දැක්කනම් මුරුගසන් වැස්ස මැද්දෙ උඔට තෙමිල විතරක්  නතර වෙන්න තිබුණා.උ‍ඹට උබේ පාටවත් සන්තකේ තියාගන්න තිබුනා.

තනිය හුරු මට මගේ ලෝකේ

තනිය තනි නොකරන්න තිබුණා

එදා ඔය ඇස් දිහා නොබලම

බිම බලාගෙන යන්න තිබුණා....

 ජීවිතේ තනිකම පාලුව වෙලාවකට හරි උන්මාදයක්. ඒ උන්මාදෙ ඇතුලෙ සීමාවක්  නැති තරම් දේවල් අපිට දකින්න විදින්න අල්ලගන්න පුලුවන් . ඒ තනිකමට හුරු වීම පහසු නැතත් හුරුවුනොත් තනිකමත් එක්තරා දීර්ඝ භාවනාවක්. හැබැයි එක පිරිමි හුස්මකට පුලුවන් ගෑණියෙක්ගෙ තනිකම හරයට පුංචි පැලයක් වගේ හරි ලේසියෙන් උගුල්ලලා විසික් කරලා දාන්න. ඒත් ඒ උගුල්ලපු තනිකම ආයෙත් දුක කඳුල එක්ක මුල් දරන්න වුනොත්......හිතාගන්න අමාරුයි.විග්‍රහ කරන්න අමාරුයි. මුණගැසුනු පිරිමි මුණනොගැසුනානම්...මුණගැසුනු තැන තනි නොකරානම් අදටත් නිල් කටරොළුව නිල් පාටයි සුවඳ නැතිවුනත්.

               අසම්මතයත්, රාගයත්  කිසි දිනක ආදරය නැමැති රේඛාවෙන් ලං නොවනු ඇත. 

        ( කිසි දිනක දැක නැති මුත් අඳුරු මතකයන් තුල ඉකි බිඳින ඇය වෙත ඉතාමත් ආදරයෙන්....)

                                                                   

කවී.......

Comments

  1. එම ගී පද වැල මනාව විග්‍රහ කර තිබෙනවා .ඔබට ජය

    ReplyDelete
  2. තනිය හුරු මගේ ලෝකේ තනිය තනි නො කරන්න හිතුණා #රහම දුකම එතැන

    ReplyDelete
  3. Harima lassana pahadili kireemak

    ReplyDelete
  4. හිතට දැනුන ගීතයක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog